Namal Udugama

එක කාලයක් ලංකාවේ හිටපු ජනප්‍රියම සුපිරි ගායකයා වුණේ නාමල් උඩුගමයි. ඒ කා‍ලේ අපිත් ඔහුගේ රසිකයෝ වෙලා හිටියා.
නාමල්ගේ මේ ජනප්‍රියත්වය සමහර අවස්ථාවල ඔහුටම වදයක් වන තරමට පත් වුණා. ඒ නාමල් නැතිව සංගීත සංදර්ශනයක් පවත්වන්න ලංකාව පුරා ඉන්න සංගීත ලෝලීන් අකමැති වීම නිසා. ඔවුන් රෑ එළිවෙනතුරු හරි නාමල් එනතුරු බලා සිටියා.
ඒ වගේම තමයි ඔහු වටා සිටි තරුණ රසිකාවියෝ. ඒ අයගෙනුත් නාමල්ට අඩුවක් තිබුණේ නැහැ. පුද්ගලයෙක් හැටියට ගත්තහමත් නාමල් වැඩි කලබලකාරයෙක් නමෛයි. සද්දෙට කතා කරන කෙනෙකුත් නමෛයි. ඔහු තුළ හොඳ ඉවසීමක් තිබුණා.
පසුගිය කාලයේ නාමල්ව ඇසුරු කරද්දී අපිටත් ඒ හැඟීම ඇතිවුණා.
නාමල් තමන්ට හිමි ජනප්‍රියත්වය ඉහළින්ම පැවැතුණු අවස්ථාවකදී තමයි විවාහ වුණේ. ඒ රුවන්ති මංගලා සමග. ඇයත් ඒ වෙද්දී තරුණ රංගන ශිල්පිනියක්.
කාලය මේ විදිහට ගෙවී යද්දී ඔවුන්ගේ කැදැල්ලට දරුවෝ දෙන්නෙක් එකතු වුණා. ඒ දරුවෝ දෙන්න එක්ක අවුල් නොවුණු පවුල් ජීවිතයක් නාමල් – රුවන්ති දෙන්නා ගත කළා. තාමත් එහෙමයි.
මෑතකදී නාමල් අලුත් සංයුක්ත තැටියක් එහෙමත් වෙළෙඳ ‍පොළට නිකුත් කළා. ඒකේ නම ‘ආදරය නිසා’.
මේ හැමදෙයක්ම අතරේ නාමල් ගැන බොහොම කනගාටුදායක ආරංචියක් අපට පසුගිය දිනක අහන්න ලැබුණා.
ඒ ආරංචිය අප සමග කිව්වෙත් නාමල්මයි.
“පසුගිය කා‍ලේ මම හුඟාක් අසනීප වුණා. ඒ වෙලාවේ වෛද්‍යවරු මට අනතුරු හැඟෙව්වා. මගේ වෛද්‍යවරයා මට කිව්වා තව අවුරුදු කීපයකින් මට ශල්‍යකර්මයකට ලෑස්ති වෙන්න කියලා.
මේ ශල්‍යකර්මය අක්මාවට සම්බන්ධ එකක්. ඒ අනුව මට වෙනත් කෙනකුගෙන් ලබා ගන්නා අක්මාවක කොටසක් බද්ධ කරන්න වෙනවා.”
දැන් මේ සටහන කියවන නාමල්ගේ රසික රසිකාවියෝ හුඟාක් කලබල වේවි. ඇත්තටම එහෙම ලොකුවට කලබල වෙලා නාමල් ලෙඩෙක් කියලා හිතන්න එපා. ඒ වගේම නාමල්ට සුපුරුදු පරිදි ප්‍රසංග වේදිකාවට ඇරයුම් කරන්න අමතක කරන්නත් එපා.
අපි මේ කියන්නේ වෛද්‍යවරු නාමල්ගේ අනාගතය දිහා බලලා කිව්ව එක් අනතුරු ඇඟවීමක් ගැන විතරයි.
“මේ විදියට වෛද්‍යවරු කිව්වහම මමත් හිතුවා මොනවා කරන්නත් නිරෝගීකම ගැන හිතන්න ඕන කියලා…
මම තවමත් ප්‍රසංග වේදිකාවට යනවා. වෙනදා වගේම ගීත ගායනා කරනවා. ඉදිරියේදී ඉතාලි සංචාරයක් සඳහා පිටත්වීමටත් සූදානමින් ඉන්නවා.
ඉතිං ජීවිතේ හුඟක් කාර්යබහුලව ගෙවන නිසා මෙවැනි වෛද්‍ය උපදෙස් කාලයත් සමග අපට අමතක වෙන්න පුළුවන්. ඉතිං ඒක නිසාම තමයි මම කල්පනා කළේ මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන එක හොඳයි කියලා.
මේ ආරංචියත් එක්ක රුවන්ති තරමක් කලබල වුණා. නමුත් අවසානයේදී රුවන්තිත් තේරුම් ගත්තා මේ තත්ත්වයට ඉවසීමෙන් මුහුණ දෙන්න ඕන කියලා…” නාමල් අප සමග කිව්වා.
නාමල්ගේ ශල්‍යකර්මයට අවශ්‍ය වෙන්නේ ඒ ‍පොසිටිව් වර්ගයේ රුධිර කාණ්ඩය ඇතුළත් නීරෝගී කෙනකුගේ අක්මාවක කොටසක්. මේ කොටස නාමල් වෙනුවෙන් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් ඉන්නව නම්, 0774034731 දුරකථන අංකයට අමතලා කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්.
කොහොම හරි මේ වෙද්දී රුවන්ති තමන්ගේ රංගන කටයුතු කරන ගමන් තම ආදරණීය ස්වාමි පුරුෂයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හුඟාක් අවධානයෙන් ඉන්නවා. වෛද්‍ය උපදෙස්වලට අනුව නාමල්ගේ කෑම බිම ගැන පවා සොයා බලනවා.
“නාමල් හුඟක් ලස්සනට හිටපු කෙනෙක්… එකපාරටම ඔහුගේ ස්වරූපය ටිකක් විතර වෙනස් වෙන්න ගත්ත හැටියේ තමයි අපි වෛද්‍ය උපදෙස් ගත්තේ. කොහොම හරි වේළපහින්ම
මේ දේවල් දැනගත්ත එක ඇත්තටම හොඳයි… වෛද්‍යවරුන්ටත් ඒ පිළිබඳව ස්තූති වන්ත වෙන්න ඕන…”
මේ විදිහට නාමල් – රුවන්ති දෙන්නම දැන් ජීවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය විදිහට කරන ගමන් සූදානම් වන්නේ ඉදිරියේ කිරීමට නියමිත ශල්‍ය කර්මය සඳහා සියලුම දේ සූදානම් කිරීමයි. එහිදී ඔවුන් පවසන්නේ තමන් වෙනුවෙන් ඉදිරිපත් වන පරිත්‍යාගශීලී හිතවතා හෝ හිතවතිය වෙනුවෙන් යම් උදව් උපකාරයක් කිරීමටද කැමැත්තෙන් සිටින බවයි.
“ඒ වගේම අක්මාවක කොටසක් පරිත්‍යාග කිරීම නිසා අදාළ තැනැත්තාටද කිසිදු අවදානමක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා මේ වෙනුවෙන් කිසිවෙකු බිය විය යුතු නැති බවයි වෛද්‍යවරු පවසන්නේ..” රුවන්ති අවසන් වශයෙන් පැවැසුවා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ  මව්බිම පුවත් පතින්