Jayawardene-with-Sangakkara

ශ්‍රි ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පතාක යෝධයන් බඳු වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර මවු බිමේදී ක්‍රීඩා කරන අවසන් එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගය අද (16 දා) එංගලන්තය සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා රාත්‍රි තරගයක්‌ වන මෙය ප.ව. 2.15 ට ආරම්භ වීමට නියමිතය.

පල්ලකැලේදී පැවැති හයවැනි එක්‌දින තරගය අවසානයේදී කුමාර් සංගක්‌කාර සිය සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය. ඔහු එහිදී කියා සිටියේ ඕනෑම ක්‍රීඩකයකුට කවදා හෝ සමුගැනීමට සිදුවන බවත් තමන් ශ්‍රී ලංකාවේදී තරග කරන අවසන් එක්‌දින තරගාවලිය මෙය බවත්ය. එළැඹෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු සංගක්‌කාර එක්‌දින පිටියෙන් සමුගත්තද ටෙස්‌ට්‌ තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කිරීමේ කැමැත්නේ ඔහු පසුවේ., “ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව තවම හිතල නැහැ. ඒත් තව මාස කිහිපයක්‌ හෝ ටෙස්‌ට්‌ ක්‍රීඩාවේ රැදී සිටින්න තේරීම් කමිටුව සමග සාකච්ඡා කරල තීරණය කරන්න ඕන. ඔවුන්ට මාව අවශ්‍යයි කිව්වොත් ටෙස්‌ට්‌ ක්‍රීඩා කරනවා. ඒත් අවුරුදු ගණන් නොවෙයි.” යනුවෙනි.

සංගක්‌කාර සමුගැනීමේ කතාව පල්ලකැලේදී කරද්දී මහේල ජයවර්ධන සිය සමුගැනීමේ කතාව ඊයේ (15 දා)ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදු කළේය. zzමම ගොඩක්‌ වාසනාවන්තයි ලංකාවෙ පටන් ගත්ත තැනින්ම අවසන් කරන්න පුලුවන් වෙච්ච එක ගැන. මම හිතුවෙ නැහැ පටන් ගන්න කොට මේ තරම් දුර ගමන් එන්න පුලුවන් වෙයි කියලා. ගොඩක්‌ම සතුටු වෙනවා මේ තරම් කල් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුලුවන් වීම ගැන. වැදගත්ම වෙන්නෙ මේ අවුරුද්ද පුරාවටම ක්‍රීඩා කළා වගේ මේ තරගයත් ජයග්‍රාහීව අවසන් කරල තවත මාස තුනකින් පමණ තියෙන ලෝක කුසලානයත් ඉතාමත් හොඳ විදිහට අවසන් කරන්නයි.

‘මම සහ සංගා ගොඩක්‌ එකට ක්‍රීඩා කළා. නමුත් මේ තරගයෙන් පස්‌සෙ අපි දෙන්නට ආයිත් ලංකාවෙදි කවදාවත් එකට ක්‍රීඩා කරන්න ලැබෙන්නෙ නැහැ. ඒ ගැන අපිට කණගාටුවකුත් නැහැ. මොකද හැම ක්‍රීඩකයකුටම කවදා හරි සමු ගැනීම සිදු කරන්න වෙනවා. අපේ රටේ හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ අය ඉදිරියේදී අපිවත් අභිබවා දක්‍ෂතා දැක්‌වීම තමයි සිදු විය යුත්තේ. එවිට අපේ රටේ ක්‍රිකට්‌ ගොඩක්‌ දියුණු වෙනවා. කෙනෙක්‌ ඇයි ඉන්නෙ කියල අහනවට වඩා ඇයි යන්නෙ කියල අහන කාලයක තමයි යා යුත්තේ.’ යනුවෙන් මහේල පවසයි.

ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව විමසන ලදුව මහේල පවසා සිටියේ,’කණ්‌ඩායමේ සංයුතිය අනූව මම කැමැතියි ඕනෑම තැනක ක්‍රීඩා කරන්න. අවසන් එක්‌දින තරගයේදී මගෙන් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන්න කියල ඇහුවම මම ඒක කැමැත්තෙන් භාර ගත්තා. නවසීලන්ත තරගාවලියේදී කොහොම සංචිතයක්‌ නම් කරයිද කියල කියන්න බැහැ. කණ්‌ඩායමේ සංයුතිය අනූව මට කියන ඕනෑම තැනක මම ක්‍රීඩා කරනවා.’යනුවෙන් මහේල වැඩිදුරටත් පැවසීය.

තරග හතකින් සමන්විත එක්‌දින තරගාවලිය මේ වන විටත් 4-2 ක්‌ ලෙස ශ්‍රී ලංකාව ජයගෙන තිබීම මත අද තරගය මහේල සහ සංගක්‌කාර වෙනුවෙන් ජයග්‍රාහී සමුගැනීමක්‌ ලබාදීමේ තරගයක්‌ බවට පත්ව තිබේ. වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුපිරිම මෙන්ම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනා මව්බිමේදී ක්‍රීඩා කරන අවසන් තරගය දැක බලා ගැනීමට ප්‍රේමදාස ක්‍රීඩාංගණයට විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

මහේල ජයවර්ධන මේ වන විට ක්‍රීඩා කර ඇති එක්‌දින ජාත්‍යන්තර තරග 433 න් තරග 150 ක්‌ ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කර තිබේ. ඔහු සිය මව්බිමේදී ශතක හතරක්‌ සමග ලකුණු 4018 ක්‌ ලබා ඇත. එහි සාමාන්‍ය 34.63 කි. සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්‌කාර සිය මව්බිමේදී එක්‌දින තරග 141 ක්‌ ක්‍රීඩා කර ඇති අතර එහිදී ශතක හතරක්‌ සමග ලකුණු 4691 ක්‌ ලබා තිබේ. එහි සාමාන්‍ය 40.79 ක්‌ ලෙස සටහන් වේ.