11083927_10153110391012114_2520607611320940005_n

අට වසරක්‌ පුරා ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියක අවසන් මහා තරගයේ ස්‌ථානයක්‌ වෙන්කර ගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (18 දා) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ කඩුලු 09 නොසිතූ පරාජයක්‌ ලබමින් 2015 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවිය.

පීඩනය හොඳින් දන්නා ශ්‍රී ලංකා කණ්‌ඩායමට හිටි හැටියේ වැදුණු අකුණු සැරයක්‌ මෙන් සියලු දෙනා ලකුණු 133 කට දැවී ගියේය. ලකුණු 300 කට වැඩි ඉලක්‌කයක්‌ හිස මත තබා ගනිමින් කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද ශ්‍රී ලංකා පිතිකරුවන් මෙවර ලෝක කුසලානයේ නීරසම ක්‍රීඩා විලාශය පෙන්වමින් පන්දුවාර 37.2 කදී ඉනිම නිමා කර ගත්තේය. ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරිම පිතිකරු යුගලට ලෝක කුසලාන ජයග්‍රහණයකින් සමුගැනීම සරසවන්නට බලා සිටි ශ්‍රී ලංකා නායකයා ඇතුළු පිරිසට ඊයේ අත්වූ පරාජයත් තම දැවැන්තයන් දෙදෙනාගේ සමුගැනීමේ වේදනාවත් එක පිට එක දරා ගැනීමට සිදුවිය.

”අවුරුදු 16 ක්‌ 17 ක්‌ සංගක්‌කාර සහ මහේල ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ රාජකාරිය අති විශිෂ්ටයි. ඔවුන් දෙන්නගෙ සමුගැනීම ලෝක කුසලාන ජයග්‍රහණයකින් ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තුවෙන් හිටියෙ. අවාසනාවකට අපිට ඒ දේ කරන්න බැරි වුණා.” යනුවෙන් ශ්‍රී ලංකා නායකයා තරගයෙන් අනතුරුව පැවසීය. මෙම තරගය පරාජය ප්‍රධාන වශයෙන් බලපෑවේ පිතිකරුවන් ලකුණු ලබා නොගැනීම බවත් ලකුණු 250 ක්‌ හෝ ලබා ගත්තානම් තරගයක්‌ දීමට අවස්‌ථාව තිබූ බවත් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය.

පන්දුවාර පනහ ලෝක කුසලාන අවසන් මහා තරග දෙකකට සහ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කළ මහේල සහ සංගක්‌කාර ඊයේ එක්‌දින ජාත්‍යන්තර පිටියට සමුදුන්නේ පරාජයෙන් දෙනෙත් රතු කරගෙන සිටි ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ට අත් ඔසවා ආචාර කරමිනි. මැතිව්ස්‌ ප්‍රමුඛ සියලු සගයන් සංගක්‌කාර සහ මහේලව සිප වැළඳ ගනිමින් ඔවුන්ට සමුදුන්නේ සමුගෙන නොයන් කියන්නාක්‌ මෙනි. දකුණු අප්‍රිකානු සියලුම ක්‍රීඩකයන් සංගක්‌කාරව සහ මහේලව වැළඳ ගනිමින් ඔවුන්ගේ අනාගතයට සුභාෂිංසන එකතු කළේය. ලෝක වාර්තා ගොන්නක්‌ සතුකර ගෙන සිටින සංගක්‌කාර පළමුවෙන්ම ක්‍රීඩාංගණයෙන් පිටව යන තෙක්‌ ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ ක්‌යින්ටන්ද කුක්‌ සහ ඩුප්ලෙසිස්‌ අත්පොළොසන් නගමින් පිටිය මැද නතරව සිටියේ පිදිය යුත්තන් පිදීම මහත්මා ගුණයක්‌ ලෙස හුවා දක්‌වමිනි.

පීඩනයට ඔරොත්තු නොදෙන කණ්‌ඩායමක්‌ ලෙසින් අවධානයට ලක්‌ව සිටි දකුණු අප්‍රිකානුවන් අලුත් සැලසුමක්‌ සමගින් ශ්‍රී ලංකාව දැඩි ප්‍රපාතයකට ඊයේ තල්ලු කර දැමුවේය. ”අපි පීඩනයේදී හොඳින් ක්‍රීඩා කරන්නෙ නැහැ කියන එකක්‌ නැහැ. අවශ්‍ය වන්නේ ඕනෑම තරගයකදී හොඳින් ක්‍රීඩා කිරීම පමණයි” යනුවෙන් දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස්‌ පැවසුවාක්‌ මෙන් ඔහුගේ සගයන් කිසිදු පීඩනයකින් තොරව ශ්‍රී ලංකා පිතිකරුවන්ව දැඩි ග්‍රහණයකට හසුකර දැමුවේය. ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් දුරකථන අංකයක්‌ මෙන් ලකුණු ලබා ගැනීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට හිමිවූ පහසු ඉලක්‌කය පන්දුවාර 32 ක්‌ සහ කඩුලු 9 ක්‌ ඉතිරිව තිබියදී ලබා ගනිමින් අවසන් පූර්ව තරග වරම් ලබා ගත්තේය. ඒ අනූව නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සමග දකුණු අප්‍රිකාව ලබන 26 වැනිදා අවසන් පූර්ව සටනට ඕක්‌ලන්ඩ් හිදී සහභාගි වේ. ”අපි සතුටු වෙනවා කාසියේ වාසිය පැරදිල පළමුව පන්දු යවන්නට ලැබීම ගැන.” යනුවෙන් ඩිවිලියර්ස්‌ තරගයෙන් අනතුරුව පැවසීය.

ගොදුරු සොයන සිංහ රැලක්‌ මෙන් හැසුරුණු දකුණු අප්‍රිකානු පන්දු රකින්නෝ ඉගිලෙමින් පන්දු නවතා දමන අතරවාරයේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඔවුන්ගේ අතටම උඩපන්දු ලබාදෙමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය පහසු කළේය. වේගවත් ආරම්භයක්‌ බලාපොරොත්තුවෙන් කුසල් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස යෙදව්වත් ඔහු ගහන ගහන පහර පිත්තේ නොවැදී කඩුලු රකින්නාගේ අතටම පත්විය. අවසානයේදී පිට ඉන්න අසලින් යන පන්දුවකට පිත්ත යොමු කරමින් කුසල් පෙරේරා පළමුවෙන්ම ක්‍රීඩාගාරයට ගියේය. තරගාවලියේ ශතක දෙකක්‌ සමග ලකුණු අතර සිටි තිලකරත්න ඩිල්ෂාන්ට ඊයේ එකදු ලකුණක්‌ හෝ ලබා ගැනීමට නොහැකි වූයේ ඩේල් ස්‌ටේන්ගේ සැලසුම් සහගත උගුලට ඩිල්ෂාන් හසුවීමෙනි.

ලකුණු හතරක්‌ තුළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගල ක්‍රීඩාගාරයට ගොස්‌ සිටියදී කුමාර් සංගක්‌කාර සහ ළහිරු තිරිමාන්න ඉනිම ගොඩ ගැනීමේ මෙහෙයුමක්‌ දියත් කළත් එම සබඳතාව ලකුණු 69 දී නිමා කිරීමට ඉම්රාන් තහීර් සමත් විය. තහීර්ගේ පන්දුවකට ඔහුගේ අතටම උඩපන්දුවක්‌ ලබාදුන් තිරිමාන්න ලකුණු 41 කට පිටියෙන් ඉවත් විය. පිට පිටම ශතක හතරක්‌ ලබා ලෝක වාර්තාවක්‌ කර මත තබා ගෙන සිටි කුමාර් සංගක්‌කාර ඊයේ තට්‌ටු දමමින් දැවැන්ත ඉනිමකට සැරසුනද පිතිකරුවන් අට දෙනකු ක්‍රීඩාගාරයට ගොස්‌ තිබියදී අත දිගහැර පහර එල්ල කිරීමට ගොස්‌ නව වැනි කඩුල්ල ලෙස ඔහු ලකුණු 45 කට දැවී ගියේය. සංගක්‌කාර දැවී යාමත් සමග සිඩ්නි ක්‍රීඩාංගණයට මල්වරුසාවක්‌ ඇද හැලුනේ ලෝකයේ බිහිවූ තවත් අංක එකේ පිතිකරුවකුට ස්‌වභාවධර්මයෙන් සමුගෙන නොයන් කියන්නාක්‌ මෙනි.

සංගක්‌කාර ඊයේ පළමු හතරේ පහර එල්ල කිරීමට පන්දු 42 ක්‌ බලා සිටි අතර ඔහු පන්දු 41 කදී ලබා සිටියේ ලකුණු හයක්‌ පමණි. තවත් සහයකයකු අනික්‌ අන්තයේ සිටියා නම් පිට පිටම පස්‌වැනි ශතකයද සංගක්‌කාරගේ නම ඉදිරියේ සටහන් වීමටද අවස්‌ථාවක්‌ තිබුණි. කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ සමුගැනීමේ ඉනිම ලකුණු 4 කට සීමා වීමත් සමග දකුණු අප්‍රිකානුවන් ජයග්‍රාහී මාවතේ අධිවේගයෙන් ගමන් ඇරඹීය. නායක ඇන්ජලෝ මැතිව්ස්‌ද ඩුමනිගේ දඟ පන්දුවකට ගහපු පහර ඩුප්ලෙසිස්‌ රැක ගනිද්දී ඔහු ඉනිම ලකුණු 19 දී නිමාවිය. 33 වැනි පන්දුවාරයේදී ශ්‍රී ලංකා නායකයා ඉවත් කළ ඩුමනි 35 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී කුලසේකර සහ තරිදු කෞෂාල් පිටියෙන් ඉවත් කරමින් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක්‌ වාර්තා කළ අට වැන්නා බවට පත්විය.

රංගන හේරත්ව ඊයේ උදෑසන සංචිතයෙන් ඉවත් කර දැමූ ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඒ වෙනුවට තරිදු කෞෂාල් කණ්‌ඩායමට එක්‌ කරමින් ඔහුව තරගයට යෙදෙව්වේය. එහෙත් ශ්‍රී ලංකා සියලු පන්දු යවන්නන් අභිබවා ලකුණු 26 කට කඩුලු 4 ක්‌ දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගත් ඉම්රාන් තහීර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

10659414_10153110437882114_4730005518579715330_n 10996384_10153110462542114_2136538099059404616_n 1620500_10153110492417114_4041873255467673591_n