Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

නව ප්‍රභේදයක් සහිතව කොවිඩ්-19 රෝගය යළි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මීට පෙර ගෙන ඇති තීරණය යළි සමාලෝචනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

අවම වශයෙන් කොරෝනා දැඩි අවදානම් කලාපවලට මුහුණ ආවරණ අනිවාර්ය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

ලෝකයේ බොහෝ රටවල් කොවිඩ්-19 සම්බන්ධයෙන් සාධනීය තීරණ ගනිමින් සිටිය ද ශ්‍රී ලංකාව මේ දක්වා ඒ කෙරෙහි අවධානය යොමුකර නොමැති බව ද සඳහන් කළ ලේකම්වරයා දැනට අකර්මණ්‍යව ඇති කොවිඩ් සම්බන්ධ තාක්ෂණික කමිටුව නැවත කැඳවා ඉදිරි ව්‍යවසනයන් වළක්වා ගැනීමට කටයුතු කළයුතු බව ද ප්‍රකාශ කළේය.

BA.5 නව කොරෝනා ප්‍රභේදය ලෝකය පුරා පැතිර යමින් රෝගීන්ගේ ප්‍රමාණය සියයට තිහකින් වැඩිවී තිබෙන බව ද හෙතෙම කීය.

ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති නව ප්‍රභේදය ලංකාවට පැමිණ තිබේ දැයි කියා සොයා බැලීමේ වැඩපිළිවෙළක් මේ දක්වා ආරම්භ කර නැති බව ද මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගීන් අතරේ නව කොරෝනා රෝගීන් සිටිය හැකි බැවින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතු බව ද පැවසීය.

පසුගිය කාලයේ පැවති සම්පත්, ඖෂධ, දැඩි සත්කාර පහසුකම් මේ වනවිට රෝහල් පද්ධතිය සතුව නොමැති බව කී ලේකම්වරයා ඉදිරි මාස දෙක ඇතුළත අවදානම් තත්ත්වයක් පවතින බව සඳහන් කළේ ය.

අද වනවිට පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණ දහසක් කරන විට රෝගීන් පණහක් වාර්තා වන බව ත්, දින තුනකට වරක් රෝගියෙකු මිය යන බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඉතිරිව ඇති කොරෝනා එන්නත් කල් ඉකුත්වීමට ආසන්න බව පැවසූ අලුත්ගේ මහතා, මේ මාසය අවසානයේ එම එන්නත් ඉවත දැමීමට සිදුවන බව සඳහන් කළේ ය.