අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි. මියගිය පිරිස අතර පාසැලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් 18 දෙනෙකු හා ගුරුවරුන් 03 දෙනෙකු වනවා. 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දරුවන් 13 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඒ අතරින් දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. මියගිය දරුවන් අවුරුදු 7 ත් 10 ත් අතර වයස් සීමාවේ පසුවූ 02, 3 සහ සිව්වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබූ පිරිසක්. 

වෙඩි තැබීම සිදුකර ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයේම පදිංචිව සිටි 18 හැවිරිදි බාලවයස්කරුවෙකු බවත්, පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ අදාළ සැකකරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ටෙක්සාස් ආණ්ඩුකාරවරයා සඳහන් කළා. 

වෙඩි ප්‍රහාර එල්ල කිරීම සඳහා මෝටර් රථයකින් සැකකරු පාසල වෙත පැමිණ ඇති බවත්, ඔහු සන්තකයේ ගිනි අවි 02 ක් තිබූ බවත් අනාවරණ වී ඇති නමුත් නිල වශයෙන් සැකකරු පිළිබඳ වැඩිදුර තොරතුරු ටෙක්සාස් බලධාරීන් මෙතෙක් අනාවරණ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. සැකකරු පාසැලට පැමිණීමට පෙර සිය මිත්තණිය ද ඝාතනය කර ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.