නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයී. අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17ක්. 

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයයි. දිනේෂ් ගුණවර්ධන මීට පෙර කටයුතු කලේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. 

අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, වෛද්‍ය රමේෂ් පතිරණයි. ඔහු මීට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පමණක් කටයුතු කලා. ප්‍රසන්න රණතුංග, මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍යවරයායි. ඔහු මීට පෙර සංචාරක අමාත්‍යවරයා ලෙස පමණක් කටයුතු කලා. දිලුම් අමුණුගම, ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍යවරයා වනවා. ඔහු මීට පෙර කටයුතු කලේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පමණයි. 

කනක හේරත්, මහා මාර්ග අමාත්‍යවරයායි. විදුර වික්‍රමනායක දිවුරුම් දුන්නේ කම්කරු අමාත්‍යවරයා ලෙසයි. ජානක වක්කුඹුර, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නා. ශෙහාන් සේමසිංහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයායි. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ජල සම්පාදන අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නා. 

විමලවීර දිසානායක දිවුරුම් දුන්නේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසයි. කංචන විජේසේකර, බලශක්ති හා විදුලිබල අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නා. තේනුක විදානගමගේ දිවුරුම් දුන්නේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ලෙසයි. නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍යවරයායි. මහාචාර්ය චන්න ජයසුමන දිවුරුම් දුන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නසීර් අහමඩ් පරිසර අමාත්‍යවරයා වන අතර ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නා.

නව කැබිනට් මණ්ඩලයෙන් ජ්‍යේෂ්ඨයින් රැසක් ඉවත් කර තිබීම විශේෂත්වයක්. මීට පෙර ඇමති ධූර හිමිව තිබූ පිරිසෙන් ඇමතිධූර හිමිව ඇත්තේ සිව් දෙනෙකුට පමණයි. සෙසු සියළු දෙනා නවක අමාත්‍යවරුන් වනවා. 

අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් අතරින් 10 දෙනෙකු මීට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අයයි. එමෙන්ම අධිකරණ අමාත්‍ය ධූරයටද කිසිවෙකු පත් කර නැහැ. අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් අතරින් දෙදෙනෙකු මීට පෙර මන්ත්‍රීවරු ලෙස පමණක් කටයුතු කල අයයි. 

කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.