කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්ෂ මීට පෙර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන උසස් තාක්ෂණ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 

ඒ අනුව පුරප්පාඩු වූ එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරයි. ඔහු ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකු වන පියංකර ජයරත්න, තව දුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කරන බව ආණ්ඩුවට නිල වශයෙන් දන්වා තිබෙනවා. ඒ, තමන් එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පිළිනොගන්නා ලෙසද දැනුම් දෙමින්.

පියංකර ජයරත්නට ආණමඩුව, නවගත්තේගම, කරුවලගස්වැව හා පල්ලම යන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හතරේ ප්‍රධානත්වය ද ලබාදී තිබෙනවා. කෙසේවෙතත් ආණමඩුව ආසනයේ සංවිධායක සහ කැදවුම්කරු ලෙස තවදුරටත් කටයුතු කරන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තයි.