ලසිත් මාලිංග විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ තබා තිබූ වාර්තාවක් බිඳ හෙලීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩී ජේ බ්‍රාවෝ සමත්වුණා. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදීයි.

මෙලෙස ඔහු විසින් බිඳ දැමුවේ අයි පී එල් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු ලාභියා ලෙස ලසිත් මාලිංග තබා තිබූ වාර්තාවයි. තරග 122 කදී කඩුළු 170ක් දවා ගනිමින් ලසිත් මාලිංග එම වාර්තාව පිහිටුවා තිබුණා. 

ලසිත් මාලිංගගේ එම වාර්තාව සමකර තිබූ ඩී ජේ බ්‍රාවෝ, ඊයේ පැවැති තරගයේදී එක් කඩුල්ලක් ලබා ගනිමින් අයි පී එල් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු ලාභියාගේ වාර්තාවට හිමිකම් කීමට සමත්වුණා. ඔහු මෙම වාර්තාව පිහිටුවීම සඳහා ක්‍රීඩා කළ අයි පී එල් තරග සංඛ්‍යාව 153 ක්. අයි පී එල් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු ලාභීන් අතර 03 වන ස්ථානයේ පසුවන්නේ තරග 154 කදී කඩුළු 166 ක් දවාගෙන සිටින ඉන්දීය ක්‍රීඩක අමිත් මිශ්‍රා. 

මේ අතර ඊයේ පැවැති තරගයෙන් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුළු 06 කින් පරාජයට පත් කරමින්. පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 07 ක් දැවී ලකුණු 210 ක් රැස් කළා. එහිදී රොබින් උත්තප්පා, පන්දු 27 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 50 ක්. ශිවම් ඩූබ් ලකුණු 49 යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 කදී කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 211 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා. ක්වින්ටන් ඩි කොක්, පන්දු 45 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 61 ක්. එවින් ලුවින් පන්දු 23 කදී නොදැවී වේගවත් ලකුණු 55 ක් රැස්කළා. ඊට හයේ පහර 03 ක් සහ හතරේ පහර 6 ක් අතුළත්.