ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත, රුධිරය කැටි ගැසීමේ අවදානම සමග සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නැතැයි යුරෝපා සංගමයේ ඖෂධ නියාමන බලධාරීන් පවසනවා. එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානම ඉහළ නංවන බවට පළ වූ වාර්තා සමග ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයක් අදාළ එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමත් සමගයි. එන්නත භාවිත කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට රුධිරය කැටි ගැසීමේ තත්ත්වයන් වාර්තා වී ඇති බවට පසුගිය දින කිහිපයේදී වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, යුරෝපා සංගමයේ ඖෂධ නියෝජිතායතනය පවසන්නේ එවැනි තත්ත්වයන් වාර්තා වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කළ මිලියන 03 ක පමණ පිරිසක් අතරින් පුද්ගලයින් 22 දෙනෙකුට පමණක් බවයි. එමෙන්ම එම පුද්ගලයින්ට බලපෑ රුධිරය කැටි ගැසීමේ තත්ත්වය එන්නත භාවිතයේ අතුරුඵලයක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නෙතෙහි ප්‍රතිලාභ ඉහළ මට්ටමක පවතින බවත්, එන්නත සම්බන්ධයෙන් පර්යේෂණ අඛණ්ඩව සිදු කරගෙන යන බවත් යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා