විෂ ශරීරගත වීමක් හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව ජර්මනියේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මේ වනවිට සුවය ලබමින් සිටිනවා.

තමන් සුවය ලබමින් රෝහලේ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඔහු ඉන්ස්ටර්ග‍්‍රෑම් ඔස්සේ ද පළකර තිබුණා.

නාවල්නි, ශ්වසන ආධාරකවලින් තොරව සිනහමුසු මුහුණින් සිටින අයුරුයි එම ඡායාරූපයේ දැක්වෙන්නේ.

කෙසේවෙතත්, නාවලින්ගේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ විපක්ෂ නායකවරයා යළි මව්රටට පැමිණීමේ සූදානමින් පසුවන බවයි. ඉකුත් 20 වැනිදා ගුවන් යානයක ගමන් කරමින් සිටියදී හදිසියේ රෝගාතුරවූ ඇලෙක්සි නාවල්නි කෝමා තත්ත්වයට පත්වූ අතර පසුව හෙළිවූයේ නාවල්නි හට විෂ ශරීරගතවීමක් සිදුව ඇති බවයි.

ඔහුගේ තේ කෝප්පයට කිසිවෙකු විසින් වස මිශ‍්‍ර කර ඇති බවට ද වාර්තා පළවුණා. ඇලෙක්සි නාවල්නි හැඳින්වෙන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප‍්‍රබල ප‍්‍රතිවිරුද්ධමතධාරියෙකු ලෙසයි.