කොරෝනා වසංගතයෙන් පසුව ඊයේ (10 දා) යළි ආරම්භ වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු දිනය අවසන් වෙද්දී ශතක වාර්තා කිරීමට සී. සී. සී. ක‍්‍රීඩා සමාජයේ නායක කුසල් මෙන්ඩිස් සහ ලන්කන් සී. සී. සී. කණ්ඩායමේ නායක චානක රුවන්සිරි සමත් විය.

සී. සී. සී. කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් රාගම ක‍්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 209 කදී නොදැවී ලකුණු 130 ක් ඊයේ දිනය නිමා වන විට ලබා සිටියේය. ඔහුගේ

ශතක ඉනිම සඳහා පන්දු 209 ක් වැය වන අතරවාරයේදී හතරේ පහර 18 කින් රාගම පන්දු යවන්නන්ට බැටදී තිබුණි.

30 හැවිරිදි චානක රුවන්සිරි විසින් සිය පළමු පෙළ ක‍්‍රිකට් දිවියේ පස්වැනි ශතකය නිගම්බු යූත් කණ්ඩායමට එරෙහිව ලබාගත් අතර එහිදී ඔහු පන්දු 137 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර නවයක් සමග ලකුණු 124 ක් ලබා ගත්තේය. මොරටුව ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලන්කන් සී. සී. සී. කණ්ඩායමේ පළමු කඩුලූ අට ලකුණු 173 කදී බිඳ වැටුණද චානකගේ

ශතකය හමුවේ නිගම්බු යූත් පන්දු යවන්නෝ පීඩනයකට ලක්විය.

මාස පහකට පසු යළි ආරම්භ වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රමෝපායන් සමග ක‍්‍රියාත්මක වූ අතර ඊයේ දිනයේදී තරග කිහිපයකට කාලගුණයෙන් බාධා එල්ල විය. නමුත් ජාතික සංචිතයේ සිටින නම් දැරූ සියලූම ක‍්‍රීඩකයන් තම තමන්ගේ ක‍්‍රීඩා සමාජ වෙනුවෙන් ඊයේ ක‍්‍රීඩා කරනු ලැබීම විශේෂත්වයකි.

සැරසන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේදී කෝල්ට්ස් පිළේ පළමු පිතිකරුවන් සිව්දෙනාම (සධීර සමරවික‍්‍රම 41, අවිශ්ක ප‍්‍රනාන්දු (66), සන්තුෂ් ගුණතිලක (60) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 80)) අර්ධ ශතක ලබා ගැනීම විශේෂත්වයකි. එහිදී ශතකය කරා පිය මනිමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දමන විට පන්දු 128 කදී හතරේ පහර හයක් සමග ලකුණු 80 ක් ලබා සිටියේය.