නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්වූ හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව “ මඟින් අවසන් කර තිබේ.

ජනාධිපති කොමිසම මඟින් විමර්ශන අවසන් කළ පළමු පැමිණිල්ල මෙය වන බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන කොමිෂන් සභාවේ නිගමන ඉදිරි කාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිතව තිබේ.

මාස 3 කට වරක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත අතුරු වාර්තාවට අදාළ පැමිණිල්ල විභාග කිරිමෙන් පසුව පැමිණි නිගමනවලට අනුව කොමිෂන් සභාවේ තීන්දුව ඇතුළත් කිරිමට නියමිතයි. 

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිශන් සභාව මඟින් මේ වන විට පැමිණිලි 17 ක විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව නඩු පැවරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නොමැති බවට ද පසුගියදා එම කොමිසමේ දී අනාවරණය විය.