ද්‍රවිඩ මහා සභා පක්‍ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කඳවා තිබෙනවා. ඒ, LTTE සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් ඉකුත් දිනෙක කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළවයි.

අදාළ ප‍්‍රකාශය පිළිබද වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) නියම කළා.

ඒ අනුව ඊයේ රාති‍්‍රයේ කරුණා අම්මාන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙනු ඇති බවට වාර්තා පළ වුවත් ඔහු පැමිණ තිබුණේ නැහැ. ආරංචි මාර්ග පැවසුවේ අද (23) පෙරවරු 7.00 ට ඔහුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

තමන් කොරෝනාවලටත් වඩා භයානක බවත් එක රැයකදී ආරක්‍ෂක අංශ සාමාජිකයින් දහස් ගණනක් මරා දැමූ බවටත් කරුණා අම්මාන් ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණා. අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය මෙන්ම දේශපාලනඥයින්ද දැඩි විවේචන එල්ල කරමින් සිටිනවා.

මේ අතර LTTE සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් ඉකුත් දිනෙක සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් පොලීසියට ඊයේ (22) දිනයේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කෙරුණා.

නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය ශී‍්‍ර ලාංකික සංසදය ද පවසන්නේ කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශයෙන් රට බේදීමේ කි‍්‍රයාවලියට නව ජවයක් ලැබෙන බැවින් එය හෙළා දකින බවයි. ඔහු ප‍්‍රකාශ කරන අපරාධයට සම්බන්ධ සියළු දෙනාහට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ගෝලීය ශී‍්‍ර ලාංකික සංසදය ඉල්ලා සිටිනවා.