ඔස්ට්‍රේලියාවේ සියලුම මට්ටමේ රාජ්‍ය ආයතන, අත්‍යවශ්‍ය සේවා ඉලක්ක කරමින් එල්ල වී ඇති සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් අදහස් දක්වා තිබේ.

මෙම නවීන හා ද්වේශසහගත සයිබර් ප්‍රහාරය පිටුපස කිසියම් රාජ්‍යයක අනුදැනුම ඇති සයිබර් ප්‍රහාරකයෙක් සිටින බව ඔහු පැවසුවේ.

මාස කිහිපයක සිට එවැනි ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වැඩිවෙමින් පැවති බවත් අගමැතිවරයා මෙහිදී  අනාවරණ කළේය.

සයිබර් ප්‍රහාරය සඳහා භාවිතා කළ වෘත්තීය ශිල්ප ක්‍රම සහ ප්‍රහාරයේ ස්වාභාවය මෙන්ම පරිමාණය ද සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාවේ සයිබර් විශේෂඥයෙක් විසින්ද ඒ බව තහවුරු කර තිබේ.

මෙවැනි සයිබර් ප්‍රහාර පිටුපස රාජ්‍ය අනුබලය සහිත හැකර්වරුන් සිටින්නේ සුළු පිරිසක බව අගමැති මොරිසන්ගේ අදහසයි.

එහෙත් තම රටට එල්ලවූ සයිබර් ප්‍රහාරය පිටුපස සිටින්නේ කුමන රාජ්‍යයක්ද යන්න ඔස්ට්‍රේලියාව තවමත් අනාවරණ කරගෙන නැහැ.

පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස චීනය සිටින්නේ යැයි ඔස්ට්‍රේලියා බලධාරීන් නිශ්චය කරන බව රොයිටර්ස් පුවත් සේවය හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් එම සිදුවීමට සම්බන්ධ පාර්ශවයක් ගැන ඔස්ට්‍රේලියාව ප්‍රසිද්ධියේ හෙළිදරව් කර නැහැ.

එමෙන්ම අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්දයෙන් එල්ලවූ චෝදනාව චීනයද ප්‍රතික්ෂේප කළේය.