ෆේස්ඇප් යෙදුමෙහි භාවිතා වන මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය හේතුවෙන් එම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

“ඔබ වයස් ගත වූ විට ඔබේ පෙනුම කෙබඳු දැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මඟින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි.“ 

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ යළිත්, FACEAPP රැල්ලක් හටගනිමින් තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

මුහුණු හඳුනා ගැනීම (Facial Recognition) මූලික වශයෙන් මුරපද සත්‍යාපනය සඳහා භාවිතා කරන තාක්ෂණයක් බැවින්, තෙවන පාර්ශවයන් සමග ඡායාරූප බෙදා ගැනීමේදී අදාළ යෙදුමෙහි පරිශීලකයින් ඉතා ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දී තිබේ. 

මෙම යෙදුම රැල්ලට භාවිතා කිරීමට ප්‍රථම එම යෙදුමට අදාළ පෞද්ගලික ප්‍රතිපත්තී මාළාවන් පරිශීලනය කොට එම යෙදුම් භාවිතා කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පැවසීය.