Jun 17, 2020 #featured

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ඊයේ (16) සිදුකළ හදිසි වැටලීම් දෙකකදි ජංගම දුරකතන 5 ක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් සිදු කළ හදිසි වැටලීම්වලදීයි. මැගසින් බන්ධනාගාරයේ විශේෂ අංශයේ වාට්ටුවේ තිබි සොයාගැනුණු ජංගම දුරකතන ගණන 3 ක්. වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් රඳවා සිටින B 3 වාට්ටුවේ තිබි ජංගම දුරකතන 2 ක් සොයා ගෙන තිබෙනවා. 

මේ අතර, පසුගියදා බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ බන්ධනාගාරගත විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිස මේ වනවිට එම බන්ධනාගාරයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරි සංකීර්ණයේ  වෙන වෙනම සිර මැදිරිවල රඳවා සිටින බව වාර්තා වනවා. එම පිරිස බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවුණේ ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පොඩි ලැසී සහ ඌරුජුවා, මැගසින්  බන්ධනාගාරයේ රඳවා සිටි ගණේමුල්ලේ සංජීව සහ ජපන් චූටි යන අපරාධකරුවන් එලෙස බූස්ස බන්ධනාගාරයට මාරු කර ඇති පිරිසට අයත්.

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටි බ්ලූමැන්ඩල් සංඛ, පරෙයි සුදා මෙන්ම කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කැවුමා ද බූස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා. මෙම පිරිස මාරු කර යවා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේයි. 

මීට පෙර කොස්ගොඩ තාරක, ගෞතම්, සුසෙයි, කාංචිපානි ඉම්රාන් ද බූස්ස බන්ධනාගාරයට මාරු කෙරුණා. පොට්ට නවුෆර්, වෙලේ සූදා ඇතුළු විශේෂ ඝණයේ අපරාධකරුවන් 50 කට ආසන්න පිරිසක් මේ වන විට බූස්ස බන්ධනාගාරයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින වාට්ටු සංකීර්ණයේ වෙන වෙනම රඳවා සිටින බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.