ඩෙංගු මදුරු ගහණය පාලනය කිරීම සඳහා නව නිපැයුමක් නිර්මාණය කළ වයස අවුරුදු 11ක ශිෂ්‍යෙක් පිළිබඳ වාර්තා විය.

ගාල්ල රිචඩ් පතිරණ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගනුම ලබන ජනන සතිශ්ක සිසුවා ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුවේ තම නිර්මාණය ද සමග ය.

ඩෙංගු මදුරුවා විසින් දමනු ලබන බිත්තර විනාශ කළ හැකි ලෙස මෙම උපකරණය නිපදවා තිබේ.

මෙම නිර්මාණයට වැඩි වශයෙන් එක් රැස් වූ  වැසි ජලයේ බිත්තර දමන ඩෙංගු මදුරුවන් ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ලැබෙන බව සතිශ්ක සඳහන් කරයි.

වැසි ජලය යොදා ඇති මෙම භාජනයට පැමිණෙන ඩෙංගු මදුරුවා එහි දමන ලද බිත්තර ස්වයංක්‍රීයව විනාශ කිරීමට මේ උපකරණයට හැකියාව පවතී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනන සතිශ්ක සිසුවාගේ මෙම නිපැයුම් උත්සහය අගය කළ අතර එය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට අදාළ අංශවල අවධානයට ද යොමු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.