ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ලක්ව තිබෙනවා.

ඒ ඔහුට මිරිහාන ප්‍රදේශයේ දී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන්.

මෙම පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුට ඊයේ පස්වරුවේ මෙලෙස පහර දී තිබුණේ මිරිහාන, පරණ කොට්ටාව පාර ප‍්‍රදේශයේ පිහිටි කල්බදු මූල්‍ය ආයතනයක් ඉදිරිපිටයි. ඊයේ පස්වරු 06.20 ට පමණ එම ආයතනයේ සේවකයින් පිරිසක් සහ පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබී තිබෙනවා. පසුව එම ස්ථානයට මිරිහාන පොලීසියේ නිලධාරීන් ද පැමිණියා. 

අදාළ පහරදීමෙන් තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන, කලූබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. සිදුකෙරුණු විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ සමීපතමයෙකු, අදාළ කල්බදු මූල්‍ය ආයතනය හරහා ලබාගත් තී‍්‍ර රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

මෙලෙස පහරදීමෙන් මියගිය 53 හැවිරිදි වියේ පසුවූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන, තී‍්‍රරෝද රථ රියදුරන් වෙනුවෙන් වෘත්තීය අරගලයක නිරත වූ අයෙක්.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කල්බදු මූල්‍ය ආයතනයේ සේවකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. අයුතු ජනරාශිය හා පුද්ගලයෙකුට පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.