කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මිය යන පුද්ගලයින් පිළිබඳ සංඛ්‍යාලේඛන යලි ප්‍රසිද්ධ කිරීමට බ්‍රසීල රජය පියවර ගෙන තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ සිට බ්‍රසීලය විසින් වෛරසය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ප්‍රකාශයට පත්කිරීම නතර කර තිබුණේ එම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව පවසමින්. 

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් බ්‍රසීලයට චෝදනා එල්ල කර තිබූ අතර පැරණි ක්‍රමවේදය අනුගමනය කරමින් අදාල දත්ත ප්‍රකාශයට පත් කළ යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද පසුගියදා නියෝගයක් ලබාදී තිබුණි. 

ඒ අනුව අද (09) සිට යලිත් වරක් බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවන් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ලොව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම රටවල් අතර දෙවන ස්ථානයේ සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වු රටවල් අතර තෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ මේ වන විට ආසාදිතයින් හත් ලක්ෂ 39,503ක් සහ මරණ 38,406 ක් වාර්තා වී තිබේ.