ප්‍රංශය විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සඳහා මැලේරියා මර්දන හයිඩ්‍රොක්සික්ලෝරෝකුයින් ඖෂධය භාවිත කිරීම නතර කර තිබේ.

එම රෝගීන් සඳහා අදාල ඖෂධය කිසිදු අවස්ථාවක භාවිත නොකරන ලෙස වෛද්‍යවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව ප්‍රංශ රජය නිවේදනය කර ඇත.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සඳහා නිර්දේශ කර නොමැති හයිඩ්‍රොක්සික්ලෝරෝකුයින් ඖෂධය භාවිතයෙන් රෝගීන්ට ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ප්‍රංශරජය මෙම තීරණය ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සඳහා ප්‍රතිකාරකයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරෝකුයින් ඖෂධය අත්හදා බැලීමේ කටයුතු අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා උපදෙස් ලබාදි තිබුණි.  

කෙසේවෙතත් බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයක් තවදුරටත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සඳහා එම ඖෂධය භාවිත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.