විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 157 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව මේ වන විට හඳුනා ගෙන තිබේ.
 
කුවෙට්, ඩුබායි සහ ඉන්දුනීසියා යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් එම ආසාදිතයින් අතර වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

ගත වූ දින දෙක තුළ හදුනාගත් ආසාදිතයින් අතර කුවෙට් හි සිට පැමිණි පුද්ගලයින් 90 දෙනෙකු වන බව යුද හමුදාපතිවරයා පැවසුවේය.

මේ අතර පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

සෙසු රටවල සිට ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවීම පිළිබඳව ද මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ..

ඒ අනුව සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්යාලව 332 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 628 දෙනෙකු වන අතර ඉන් 315 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1182 දෙනෙකු වෙයි.

ඉන් 695 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.