හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රජය විසින් හෙට (26) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වීම පස්වරු 10.00 සිට පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.

සති 7 ක කාලයකින් පසු පසුගිය මැයි 11 දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අතර එදින සිට මේ දක්වා දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2 ක කාල සීමාවකට පමණක් සීමා විය.

කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ.