කෝවිඞ් 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ලොතරැයි අලෙවිය ජුනි මස පළමුවනදා සිට යළි ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලූම සන්නාමයන්ට අදාළ ලොතරැයිපත් එදින සිට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ ලැබෙනු ඇති. අනපේක්ෂිත ලෙස ඉකුත් මාර්තු 13 වනදා සිට සියලූම ලොතරැයි ටිකට්පත් තාවකාලිකව අලෙවියෙන් ඉවත් කළ ද, එම ටිකට්පත් විනාශ නොකර නැවත දින මුද්‍රණය කර වෙළඳපොළට නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසන්නේ. 

නව දින මුද්‍රණය කළ ලග්න වාසනාව ටිකට්පත් ඉකුත් 18 වනදා  වෙළඳපොළට නිකුත් කෙරුණා. හෙට දිනයේ සිට පසුගිය මාසයන්ට අදාළ ලග්න වාසනාව ටිකට්පත් මෙන්ම අද කෝටිපති ලොතරැයිපත් ද නැවතත් දින මුද්‍රණය කර වෙළඳපොලට නිකුත් කිරීමට නියමිතයි. 

ලොතරැයිපත් අලෙවිය අත්හිටුවීමට පෙර අපේ‍්‍රල් මස 04 වනදා දිනුම් ඇදීමට නියමිතව තිබූ ශනිදා අවුරුදු වාසනා විශේෂ ටිකට්පත වෙළඳපොලට නිකුත් කර තිබූ බැවින් එම ටිකට්පත්, දිනය සංශෝධනය නොකර වෙළඳපොලෙහි පවතිනවා. 

එම විශේෂ දිනුම් ඇදීම ජුනි මස 13 වනදා සිදු කෙරෙන බව ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සඳහන් කළා.