කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන ලෙසයි. 

රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙලෙස හෝටල් සහ ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

සංචාරක හෝටල් හිමියන් ආපනශාලා හිමියන් හා සංචාරක ක්‍ෂේත‍්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයන් සහ අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. 

එහිදී හෝටල් සහ ආපනශාලා හිමියන්ද  ඉල්ලා සිටියේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි. 

රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේදී වෙළදසැල් විවෘත කිරිමට අවසර ලබාදුන්නද පිසූ ආහාර සහ පාන වර්ග අළෙවි කරන අලෙවිහල් විවෘත කිරීමට අවසර හිමිවූයේ නැහැ.