දැඩි කැපවීමෙන් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිඳු බලවේගයකට වත්මන් රජය ඉඩ ලබා නොදෙන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ දැවැන්ත පරිත්‍යාගයන් සිදුකරමින් රණවිරුවන් දිනාදුන් සාමයේ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට හැකිවන පරිදි ශ‍්‍රී ලංකාව තුළ සදාකාලික සාමයක් පවතින බව අනාගත පරපුරට සහතික කරන බවයි. 

සාමකාමී අනාගතයත් භුක්ති විඳීම සඳහා ඔවුන් කළ කැපකිරීම් වෙනුවෙන් රටවැසියන් රණවිරුවන්ට ණයගැති බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ සියලූ රණවිරුවන් ඊළග පරම්පරාවට සාමකාමීව ජීවත්වීම උදෙසා රට නිදහස් කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ තාරුණ්‍ය ද කැප කළා.

දැන් එළඹ ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සිය අධ්‍යාපන කටයුතුවල යෙදී වගකිව යුතු පුරවැසියන් ලෙස සිය යුතුකම් ඉටු කිරීමේ තරුණ පරම්පරාවේ අවස්ථාව බවයි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස අද පස්වරුවේ පැවැත්වෙන 11 ජාතික රණවිරු අනුස්මරණ සැමරුම සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. මෙය අද පස්වරු 04.00 ට ආරම්භ වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මේ අතර යුද විජයග‍්‍රහණයට කැපවූ වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන අද දිනයේදී ඔවුන් වෙනුවෙන් පහනක් දල්වන ලෙසයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.