මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයෙන් කොටසක් අද (19) දින ජලයෙන් යට වු බව නාවලපිටිය පොලිසිය පවසනවා. නාවලපිටිය තැපැල් කාර්යයාලය අසල සිට නාවලපිටිය පොලිසිය දක්වා මෙසේ ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

වැසි ජලය නිසි ලෙස බැස නොයැම නිසා නාවලපිටිය නගරය මෙසේ ජලයෙන් යට වන බවයි නාවලපිටිය නගරයේ ව්‍යාපාරිකයින් කියා සිටින්නේ.

මේ අතර නාවලපිටිය වැලිගම්පොල ඉසිපතනාරාම විහාරස්ථානයේ බොධි ප්‍රාකාරය වටා ඉදි කර තිබු ආරක්ෂිත බැම්ම කඩාගෙනවිත් ප්‍රතිසංස්කරණය කරමින් තිබු එම විහාරස්ථානයේ ආවාසගෙට දැඩි අලාභ හානි සිදු වි ඇත.

අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග නාවලපිටිය ප්‍රදේශයෙන් පිටාර ගලා ඇත. 

මේ අතර අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද පෙරවරුවේ සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව වටවල පොලිසිය පවසනවා. වටවල පොලිස් වසමට අයත් වටවල සිංහල විදුහල අසල ප්‍රධාන මාර්ගයට මාර්ගයට ඉහලින් වු විශාල පස් කන්දක්ද වටවල දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගල් සහිත පස් කන්දක් කඩා වැටි ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ග සංවර්ධන අධිකාරිය, යුධ හමුදාව සහ වටවල පොලිසියේ නිලධාරින් එක් ව කඩා වැටුණු පස් කදු ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එම මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.