කලූ ගගේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 

ගතවූ පැය 24 දී කලූගග ද්‍රෝණියේ ඉහළ ප‍්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කලූ ගඟ රත්නපුර ජල මැනුම් ස්ථානයෙන් අවදානම් මට්ටමේ පවතින බැවින් රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල, ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කලූගඟ දෙපස වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළේ. 

ගිං ගඟ, තවලම ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පැවතීමත් සමග තවලම සහ නෙළුව ප‍්‍රදේශවල ඇතැම් මාර්ග ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ. 

ගිං ගගේ තවලම ජල මාපකයේ ජල මට්ටම මේවනවිට සටහන් වන්නේ අඩි 4.89 ක් ලෙසයි. පවතින තත්ත්වය හේතුවෙන් අවදානම් කලාපවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. මේ හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටුව විවෘත කර ඇති බව වාර්තාවේ. 

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සහ කැළණි ගඟේ ජල මට්ටම ද ඉහළ යා හැකි බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ. 

මේ අතර ඇදහැලෙන අධික වැසි හේතුවෙන් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයට ස්තාන කිහිපයකින් පස්කඳු කඩාවැටී තිබෙනවා. 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තාවේ. වටවල පොලිස් වසමට අයත් වටවල සිංහල විදුහල අසල ප‍්‍රධාන මාර්ගයට ඉහළින් වූ විශාල පස්කන්දක්, වටවල දියගල ප‍්‍රධාන මාර්ගයට ගල් සහික පස්කන්දක් කඩා වැටී තිබෙනවා. 

මාර්ග සංවර්ධන අධිකාරිය, යුද්ධ හමුදාව සහ වටවල පොලීසියේ නිලධාරීන් එක්ව කඩා වැටුනු පස්කඳු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ.