මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ප‍්‍රකාශ කළේ. 

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සෙන්ට් ක්ලෙයාර් හා ඩෙවෝන් යන දියඇළි මෙන්ම වටවල දොතළු ඇල්ලේ ද ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා. 

මේ අතර අධික වර්ෂාවත් සමග හමා ගිය තද සුළං තත්ත්වයකින් වතුකරයේ ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම ද වරින්වර බිඳවැටුණු බව වාර්තාවේ. පවතින වර්ෂාව හේතුවෙන් හැටන් – නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයට මෙන්ම හැටන් – කොළඹ ප‍්‍රධාන මාර්ගයට ද පස්කඳු කඩා වැටීමේ අවධානමක් පවතිනවා.

මේ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිල්මත් වන ලෙසයි පොලීසිය රියදුරන්ට උපදෙස් ලබා දෙන්නේ. 

දිස්ති‍්‍රක්ක 10 ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම තවදුරටත් වංලගු වනවා. ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

‘‘අම්ෆන්’’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේ්ක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වඩා වැඩි තද වැසි අපේක්ෂා කළ හැකියි.

දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.