කොළඹ හා ගම්පහ යන දිස්ති‍්‍රක්කවල තවදුරටත් ඇඳිරි නීතිය පනවා තිබුණද  රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකේම රාජකාරී අද (11) ආරම්භ වනවා. කෙසේවෙතත් සේවා සැපයීමේදී සෑම ආයතනයක් විසින් ගතයුතු උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සෑම ආයතනයක්ම ඊට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

එහිදී “කොරෝනා වැලැක්වීම පිළිබඳව 04/17 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිර්නායක කෙරෙහි සෑම දෙනාම අවධානය යොමු කළ යුතුයි. එහි ඉතා පැහැදිළිව සඳහන් වෙනවා කොරෝනා වසංගතය පැතිරීම වලක්වමින් එක් එක් ආයතන පවත්වාගෙන යෑමට ගතයුතු පියවර ගැන. සෑම ආයතනයක්ම එය අන්තර්ජාලය මගින් බාගත කරගෙන ඊට අනුව කටයුතු කළ යුතුයි.” යනුවෙන් ද සඳහන් කෙරුණා.

සේවයට කැඳව ඇති රාජ්‍ය සේවකයින් උදෑසන 8.30 ට පෙර කාර්යාල වෙත වාර්තා කර සවස 3.00ත් 4.00 ත් අතර කාල සීමාවේදී ඔවුන් නිවෙස් බලා යාම සුදුසු බවයි පොලිසිය පවසන්නේ.

පෞද්ගලික අංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමකර ඇත්තේ උදෑසන 10.00 ටයි. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින් උදෑසන 10ට පෙර කාර්යාලයට ලගා විය හැකි පරිදි උදෑසන 8.30 න් පසුව නිවෙස්වලින් පිටවීම සුදුසු වනවා.

පෞද්ගලික අංශයේ සේවකයින් සේවය නිමවා කාර්යාලවලින් පිටව යාම වඩාත් සුදුසු වන්නේ සවස 4ත් 5 අතර කාල සීමාවේදීයි. 

මාර්ග පරික්ෂාවේදී ඇතිවන තදබදය අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකට මෙලෙස වෙනස් කාර්යාල වේලාවන් හදුන්වා දී තිබෙනවා. කෙසේවෙතත් පොදු ප‍්‍රවාහන සේවාවන්ට සහ සේවා මුර ලෙස කටයුතු කරන රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයින්ට මෙම රීතිය බල නොපාන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

රාජකාරී සඳහා යාමේදී සේවක සේවිකාවන් විසින් අනිවාර්යෙන් රැගෙන යායුතු ලේඛණ කිහිපයක්ද නියම කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඒ පිළිබඳව සඳහන් කළේ “රාජකාරී හැඳුනුම්පතක්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පතේ හෝ එම වෘත්තිය ගැන සඳහන් වී තිබිය යුතුයි. එම කාලය තුළ සේවා ස්ථානය වෙත වාර්තා කළ යුතු බවට තමාගේ ආයතනයෙන් ලද ලිපිය. මෙම ලියවිල්ල කොළයක, ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් හෝ SMS පණිවුඩයක් ලෙස හෝ තිබිය යුතුයි.” යනුවෙනි.

රාජකාරීය වෙනුවෙන් දිස්ති‍්‍රක්ක අතර අවසර හිමිවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පිසූ ආහාර සහ පාන වර්ග අළෙවි කරන ස්ථාන හැර ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අළෙවි කරන තොග හා සිල්ලර වෙළද සැල් විවෘත කිරීමට ද අද සිට අවසර හිමි වනු ඇති.

මේ අතර රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකේම ආයතන අද යළි විවෘත කිරීමෙන් පසු එම ආයතනවල කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි නෙත් නිවුස් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන්ද විමසීමක් කළා.

ඊට පිළිතුරු දුන් එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කළේ රාජකාරීයට පැමිණෙන සේවකයන්ට නම්‍යශීලී රාජකාරී වේලාවන් ලබා දීමට ආයතන ප‍්‍රධානීන්ට අභිමතය හිමිවන බවයි.

නිළ ඇදුම අනිවාර්ය නොවන අවස්ථාවලදී හැර රාජකාරීයට පැමිණෙන සේවක සේවිකාවන්ට පහසු ඇදුමක් ඇදීමට අවසර හිමිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර රාජ්‍ය  හා පුද්ගලික ආයතන අද මෙලෙස විවෘත කෙරුණද සේවා ලබා ගැනීම සඳහා එම ආයතන වෙත පැමිණීමට කලබල නොවන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

තමන්ට ඇති ගැටළු දුරකථනයෙන් හෝ වෙනත් ක‍්‍රමයකින් අදාල ආයතන වෙත ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකි බවද ඒ අනුව එම ආයතන විසින් ඊට සුදුසු විසදුමක් ලබා දෙනු ඇති බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පැවසුවා.