පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට  පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මැයි මස 18 සහ 19 සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11)දින නියම කරන ලදී. 

එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ එහි සාමජිකයන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයා කටයුතු නොකරන බවයි. 

මෙම පෙත්සම් අද දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,එස්. තුරෙයිරාජා සහ මුර්දු  ප්‍රනාන්දු ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලදී . 

නීතීඥ  චරිත ගුණරත්න විසින් මුල් වරට මීට අදාළව මූලික අයිතිවාසිකම්  පෙත්සමක් ගොනු කල අතර ඉන් අනතුරුව ජාතික සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් සහ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මේ වන විට පෙත්සම් ගොනු කර ඇත .