හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එහි සභාපති නිශාන්ත රණතුංග නෙත් නිවුස් වෙත සඳහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවයි. කෙසේවෙතත් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවුවහොත් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ බිල්පතේ යම් වෙනසක් ඇත්නම් ඉදිරි මාසයකදී එම අඩුවීම හෝ වැඩිවීම නිවරැදි කර දෙන බවයි.

හිඟ විදුලි බිල්පත් ගෙවීමටද මේ වනවිට සහන කාලයක් ලබාදී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ.

පවතින තත්ත්වය තුළ මාස දෙකක බිල්පත් එකවර ලැබුණහොත් එක් බිල්පතක් ගෙවීමට දින 30ක කාලයක් ලබාදෙන බවයි සඳහන් කෙරුණේ. කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයට ලැබෙන ආදායමත් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති නිසා ලැබෙන කාලය තුළ බිල්පත ගෙවීමට පාරිභෝගිකයින් කාරුණික වන ලෙසයි වැඩිදුරටත් ඉල්ලීමක් කෙරුණේ.

කාලය ඉක්මවූ රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීම සදහා හෙට සිට මැයි මස 29 වනදා දක්වා තවදුරටත් අතිරේක සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න කියාසිටියේ හෙට සිට දිවයිනේ සියළු තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි රාජකාරී සදහා විවෘත කරන බවයි.