කොවිඩ් –19 වසංගතය හේතුවෙන්  හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කළ රටවල් අතරින් වාර්තා වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්  පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය කනස්සල්ල පළකර තිබේ. 
 
එලෙස චෝදනා එල්ල වී ඇති  රටවල් අතර ශ්‍රී ලංකාවේ  නම ද සඳහන් වී ඇත.ඔවුන් පවසන්නේ එම රටවල පොලිසිය විසින් සිය දහස් ගනන් පිරිස් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති අතර තවත් සමහර රටවල ඝාතනය කිරීම් ද වාර්තා වන බවයි.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචෙලට් මහත්මිය පවසන්නේ, හදිසි නීති බලතල විරුද්ධ පාක්ෂිකයන් මැඩපැවැත්වීමට, ජනගහනය පාලනය කිරීමට හෝ බලයේ රැඳී සිටීමට පාවිච්චි කළ හැකි ආයුධයක් නොවිය යුතු බවයි.
 
නිශ්චිත හේතුවක් නොමැතිව සිදුකරන වෙඩි තැබීම් සහ රඳවා තබා ගැනීම් හෙලා දකින බවත් ඇය පවසයි.
 
අගුලු දැමීම් සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් බලය අධික සහ සමහර විට මාරාන්තික ලෙස යොදාගෙන ඇති බව ද මහකොමසාරිස්වරිය ඉස්මතු කරයි.

අප්‍රිකාවේ පොලිසිය විසින් සිදුකරන කප්පම් ගැනීම් සම්බන්දව ද ඇය සිය කනස්සල්ල පළ කළාය.
 
අල්ලස් ගෙවීමට නොහැකි දුප්පතුන් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන යන බවට වාර්තා ලැබී ඇති බවද ඔවුන් කොවිඩ් – 19 ආසාදිතයෙකු සමග සම්බන්දව ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඇය සඳහන් කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමග ලොව පුරා රටවල් 80ක පමණ හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කර ඇති බවත් එයින් රටවල් 15ක පමණ ජනතාවට බොහෝ හිරිහැර සිදුවන බවට චෝදනා එල්ලවී ඇති බවත් ඔවුහු පවසති.
 
ඒවා නම්, නයිජීරියාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, ශ්‍රී ලංකාව, එල් සැල්වදෝරය, ඩොමිනිකන් ජනරජය, පේරු, හොන්ඩ්‍යුරාස්, ජෝර්දානය, මොරොක්කෝව, කාම්බෝජය, උස්බැකිස්ථානය, ඉරානය සහ හංගේරියාවයි.
පසුගිය දින 30 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්දයෙන් 120 000 දෙනකු පමණ අත්අඩංගුවට ගත් පිලිපීනය මෙම ලැයිස්තුවේ ඉහලින්ම සිටියි.
 
කෙසේ වෙතත් එම සංවිධානයේ ක්ෂේත්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂ ජෝර්ජ් ගග්නොන් මහත්මිය ජිනීවා හි පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ මෙවැනි සිදුවීම් තවත් රටවල තිබිය හැකි බවයි.
 
ගග්නොන් මහත්මිය පවසන්නේ කෙන්යාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම හා සම්බන්ද මරණ 20 පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි

පොලිසිය විසින් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්දයෙන් කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සමාව ඉල්ලා තිබිණි.
 
දකුණු අප්‍රිකාවේ, විශේෂයෙන් දුප්පත් අසල්වැසි ප්‍රදේශ වල සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීම සඳහා රබර් උණ්, කඳුළු ගෑස් ජල බෝම්බ සහ කස පහර භාවිතා කළ බවට එක්සත් ජාතීන්ගේ කාර්යාලයට වාර්තා ලැබී ඇති බව සඳහන් වේ.
 
මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ ඇතුළු පැමිණිල් 39ක් විභාග වෙමින් පවතින බවද ගග්නොන් මහත්මිය පවසයි.

කොවිඩ් – 19 නීති රීති බලාත්මක කිරීමේ දී නයිජීරියාවේ ආරක්ෂක අංශ විසින් සිදුකළ පුද්ගල ඝාතන 18ක් සම්බන්දව වාර්තා ලැබී ඇති බවද ඇය පවසයි. නයිජීරියාවේ බන්ධනාගාරවල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ආශ්‍රිතව මෙම මරණ බොහොමයක් වාර්තා වි තිබිණි.
 
අර්බුදය අතරතුර චීනයේ සිදුවූ දේ ගැන සඳහන් කළ ගග්නොන් මහත්මිය මෙසේ පැවසුවාය,
 
“වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ විරුද්ධ මතධාරීන් වාරණය කිරීම, බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ පැහැදිලිවම රඳවා තබා ගැනීම පිළිබඳ වාර්තා කාර්යාලයට ලැබී තිබේ. ඒවායින් කිහිපයක් සම්බන්දව අප කාර්යාලය චීනය සමග සම්බන්ද වී කටයුතු කරනවා.”