ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඊයේ (22) වැටලීමකට ගොස් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් දඩයමේ ගොස් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් දඩයක්කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මුල්ලේගම වනජීවී කාර්යාලයේ සේවයේ නියුතුව සිටි මොනරාගල බුද්දම කුකුලම්මුල්ල පදිංචි 25 හැවිරිදි වනජීවී අඩවි ආරක්ෂක ඒ.එම් සේනාධීර ‍ප්‍රදීප් බණ්ඩාර නැමති අයෙකි.

ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් සෙල්ලක්කාඔය නොහොත් රෑදැත්තාඔය ප්‍රදේශයේ වාඩිගලදී දඩයක්කරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් දඩයක්කරුවෙකු එක්වරම වනජීවි නිලධාරීන්ට වෙඩිතබා ඇත.

වෙඩි වැදීමෙන් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීවරයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

දඩයක්කරුවන් පිරිසක් ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවී ඇති බවට ලද තොරතුරක් අනුව මුල්ලේගම, ගල්ඔය,බදුලුවෙල යන වනජීවී කාර්යාලවල නිලධාරීන් අට දෙනෙකු මෙම වැටලීමට ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23) මොනරාගල මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.

සිද්ධිය පිළිබඳව දඹගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.