හෙට (20) සිට කි‍්‍රයාත්මක වන පොදු ප‍්‍රවාහන සේවාවලදී සීමා රැසක් පැනවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

හෙට සිට රැකියාවලට පැමිණෙන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය ද ධාවනයට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ විෂබීජහරණයට ලක් කර සියළු බස් රථ ධාවනයට එක් කරන බවයි. කෙසේවෙතත් බස් රථයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 25 කට එනම් බස් රථයේ සමස්ත මගී ධාරිතාවෙන් සියයට 50 කට අඩු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර හෙට සිට කාර්යාල දුම්රිය සේවය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබෙනවා. ඒ අනුව දුම්රිය මැදිරියක ගමන් කළ හැකි වන්නේ මගීන් 50 දෙනෙකුට පමණයි. දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී සහ දුම්රියෙන් ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වනවා. දුම්රිය පරිශ‍්‍ර තුළ, මැදිරි සහ දුම්රිය මාර්ගයට කෙළ ගැසීම සම්පූර්ණයෙන්ම තහනම්. එසේ කි‍්‍රයාකරන පුද්ගලයින්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. 

දුම්රිය මැදිරි සහ පරිශ‍්‍ර තුළ සිගමන් යැදීම හා අනවසර වෙළදාම සම්පූර්ණයෙන්ම තහනම්. එලෙස අනවසරයෙන් වෙළදාම් කරන පුද්ගලයෙකුගෙන් කිසියම් අයෙකු භාණ්ඩ මිලදී ගතහොත් ඔහුද දුම්රියෙන් ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ කැස්ස, උණ සහ සෙම්ප‍්‍රතිශ්‍යාව තිබෙන්නේ නම් දුම්රිය සේවය භාවිත නොකරන ලෙසයි.