ඊයේ (10) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනා ගෙන ඇති පුද්ගලයින් 07 දෙනා සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙනවා.

එලෙස කොරෝනා ආසාධනය වී ඇති  පුද්ගලයින් 06 දෙනෙක් මිගමුව, සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

පසුගිය ඉරිදා දින කොරෝනා වෛරසය ආසාධනයවී ඇති බවට රාගම රෝහලේදී තහවුරු වූ කොරෝනා ආසාධිත ත්‍රිරෝද රථ රියදුරා සමග සමීපව කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ රාගම දී තහවුරු කර ගත් කොරෝනා රෝගියා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 28 දෙනෙක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කලත් ඔවුන් ඊට අවනත නොවී ප්‍රදේශය පුරා සැරිසරා තිබෙනවා.
 
මොවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා ඔවුන් මත්ද්‍රව්‍ය සොයා ප්‍රදේශයේ සැරි සරා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සොයා සෞඛ්‍ය බලධාරින් නිවෙස් කරා යන විට ඔවුන් ඉන් පැන ගොස් තිබු අතර පසුව බස්නාහිර පළාත් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින් විසින් එම පුද්ගලයින් 28 දෙනා සොයා ගැනීමට සමත්විය.

එලෙස සොයා ගනු ලැබූ පුද්ගලයින් 28 දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නාවික හමුදාව පියවර ගත් අතර ඉන් 06 දෙනෙකු කොරෝනා ආසාධනයට ලක්ව ඇති බව ඊයේ රාත්‍රියේදී තහවුරු කර ගෙන තිබෙනවා.

මිට අමතරව අනෙක් කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.