කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සිදුකරනු ලබන යාන්ත්‍රණය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පොලිසිය පියවර රැසක් ගෙන තිබෙනවා.

රජයෙන් ලබා දෙන ආධාර වලට අමතරව විවිධ දුෂ්කරතා හේතුවෙන් පිඩාවට පත්ව සිටින පවුල් සඳහා අවශ්‍ය වියළි සලාක ලබාදීමේ වැඩපිළිවෙලක් ප්‍රදේශයේ දානපතියන් සහ සිවිල් සංවිධාන සමග එක්ව ක්‍රියාවට නංවා ඇති බවයි අනුරාධපුරය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කර සිටියේ.

” රජයෙන් ලබා දෙන ආධාර ක්‍රමවත්ව බෙදා හැරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පොලිසිය ක්‍රියා කරනවා. එමෙන්ම ප්‍රදේශයේ තොග වෙළදුන්ට දිස්ත්‍රික්කය තුල ජිවත්වන පවුල් වලට අවශ්‍ය දේවල් සපයා දීමට අවශ්‍ය ඇඳිරි නීති බලපත් ක්‍රමානුකුලව සැපයීමට පියවර ගෙන ඇත්තේ. ඊට අමතරව දෛනික වැටුප් ලබන පුද්ගලයින් රැසක් මේ ප්‍රදේශයේ ජිවත් වනවා.ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථාන දායක කර ගනිමින් ඔවුන්ට වියලි සලාක ලබා දීමේ වැඩපිළිවෙලක් කළා. ඒ සඳහා ප්‍රදේශයේ දානපතියන්, සිවිල් සහ ස්වේච්ජා සංවිධාන වල සහය ලබා ගත්තා.  ඒ වගේම ඇඳිරි නීතිය පැනවූ දිනයේ සිට මේ දක්වා ප්‍රදේශයේ සිටින යාචකයින්, විදි සුනඛයින්, ඇතුළු සතුන්ට අවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිලිවලක් ක්‍රියාත්මක කරනවා” අනුරාධපුරය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කර සිටියා.

රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ සෙසු දිස්ත්‍රික්ක හා සැසදීමේදී අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් පහසුකම් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ සියලු පොලිස් ස්ථාන විසින් සිදුකර ගෙන යන වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනිය බවයි එම ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටියේ.