ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා රෝගය මර්දනය කිරීමට ගතවන කාලය පුද්ගලයින්ගේ හැසිරීම මත තීරණය වන බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. 

ඔහු කියාසිටියේ ඇදිරි නීතිය ඉවත් කරන අවස්ථාවේදී ජනතාවගේ හැසිරීමද කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

ඇදිරි නීතිය සහ නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව අද සිට දැඩි පියවර ගන්නා බව පොලීසිය පවසනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සදහා අද සිට විශේෂ කණ්ඩායම් යොදවන බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

ඇතැම් පිරිස් අත්‍යවශ්‍ය සේවා ලෙස සදහන් කරමින් ඇදිරි නීති රෙගුලාසි සහ නිරෝධායන රීති කඩකරන තත්ත්වයක් දිගින් දිගටම පෙනී යන බවද ඔහු කියාසිටියා. 

මෙම තත්ත්වය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා මේ වනවිට ගෙන යන වැඩපිළිවෙලට බාධාවක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.