නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටතුළ පවතින තත්ත්වය සුුළු කොට නොතකන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට යළි යළිත් දැනුම් දෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට දෙන මූලිකත්වයට වඩා මෙම අවස්ථාවේ කොරෝනා වෛරසය තමන්ට ආසාදනයවීමෙන් ආරක්ෂාවීමට ජනතාව කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අංශ සහ රජය මෙන්ම ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් ජනතාව කඩකලහොත්, ශ‍්‍රී ලංකාවට ද නුදුරේදීම ඉතාලියට අත්වූ ඉරණම අත්වනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ.

නව කොරෝනා වෛරසයේ මාරාන්තික අවදානම සම්බන්ධයෙන් ගතවු දින කිහිපය පුරාම සෞඛ්‍ය අංශ මෙරට ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා. එම දැනුවත් කිරීම් තවදුරටත් සිදු කෙරෙන්නේ මෙරට ජනයාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. කෙසේවෙතත්, ඊට ද අවනත නොවෙමින් මෙරට සියලූ ජනයා අවධානමට ලක්කර වගකීම් විරහිතව කි‍්‍රයාකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට පසුබට නොවැන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරක්ෂක අංශවලින් ඉල්ලීමක්ද කළා. 

ඇතැම් පුද්ගලයින් වගකීම් විරහිතව කි‍්‍රයාකරන මෙවන් අවස්ථාවක ස්වයං නිරෝධායනයට යොමුව සිටින පුද්ගලයෙකුගේ වැඩිමහල් දියණිය හදිසියේ මියයාම පිළිබද පුවතක්ද ඊයේ (28) අවිස්සාවේල්ල, ඇස්වත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. විශේෂත්වය වන්නේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව ගැන සිතා ඔහු සිය දියණියගේ අවමංගල්‍ය උත්සවයටද සහභාගි නොවන්නේ රටටම ආදර්ශයක් ලබාදෙමින්.

රට මුහුණපා තිබෙන මෙම ව්‍යවසනකාරී තත්ත්වය තේරුම් ගෙන මෙවැනි කැප කිරීම් සිදුකරන ශ්‍රේෂ්ඨ මිනිසුන් අගය කළයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ. රෝග තත්ත්වයන් පිළිබද වසං කරන පුද්ගලයින්ටද මෙය කදිම ආදර්ශයක් බවයි ඔහු සදහන් කළේ.