අද (26) පෙරවරු 06.00 සිට දහවල් 12.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල සතොස ශාඛා සියල්ල විවෘතව තැබෙන බව එහි සභාපති නුෂාඞ් පෙරේරා පවසනවා. අපහසුතාවකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට එමගින් අවස්ථාව සලසා දෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ‘‘පික් මී’’ යෙදවුම සමග එක්ව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසටම රැගෙන ගොස් දීමේ සේවාව ද, කොළඹ දිස්ති‍්‍රක්කයේ තෝරාගත් ප‍්‍රදේශවල පමණක් තවදුරටත් සිදුවන බව ද මෙහිදී සිහිපත් කෙරුණා. 

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසටම රැගෙන ගොස් දීම සඳහා සතොස ‘‘පික් මී’’ යෙදවුම සමග එක්ව සිදුකරන සේවාව වෙනුවෙන් මුදල් ගෙවීමට දැනට පහසුකම් සපයා තිබෙන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් මගින් පමණයි. එහෙත්, අත්පිට මුදලට ද මිලදී ගැනීම් සිදුකළ හැකි වන පරිදි ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් පුළුල් කරන බව ද සතොස සභාපති නුෂාඞ් පෙරේරා පැවසුවා. 

මේ අතර අද පෙරවරු 06 සිට දහවල් 12 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල සීමිත බස්රථ ගණනක් පමණක් සේවයට යොදවන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා. කෙසේවෙතත්, සේවකයන් සේවයට කැඳවා ගන්නේ අවශ්‍යතාව අනුව පමණක් බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. කෙසේවෙතත්, දුම්රිය කිසිවක් අදත් ධාවනය කෙරෙන්නේ නැහැ. 

මේ අතර ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති ප‍්‍රදේශවල මහජනතාව ඒකරාශී විය හැකි ස්ථානයන්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද, සේවයට යෙදවීමට සැලසුම් කර තිබෙනවා. ලබාදී ඇති වෛද්‍ය උපදෙස් උල්ලංඝණය නොවන  පරිදි සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට මහජනතාව මෙහෙයවීමයි මෙහි අපේක්ෂාව වන්නේ. 

ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර අදාළ ප‍්‍රදේශවල සියලූ සතොස ශාඛා සහ සුපිරි වෙළඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවකට ලක් කෙරුණු බව ද මෙහිදී සිහිපත් කෙරුණා. මහජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සැපයෙන බවට සහ අදාළ පරිශ‍්‍ර සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කර ගැනීම සඳහා මෙම පරීක්ෂා කිරීම් සිදු කෙරුණු බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

බොහෝ ප‍්‍රදේශවල මහජනතාව ඒකරාශීවිය හැකි ස්ථානයන්හි අත්සේදුම් පහසුකම් සපයා ඇතැයි ද, ඒ අනුව එම පහසුකම් භාවිත කර නිතර දෑත් සෝදා ගැනීමට කටයුතු කරන්නැයි ද මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරුණා.