මාවනැල්ල ධනාගම ප්‍රදේශයේදි ඊයේ (09) අළුයම් කාලයේදි  නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටින පුද්ගලයා මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු  රැසක් අනාවරණය කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහය දුන් අයෙකු බව හෙලි වී තිබෙනවා.මෙලෙස වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ අමාත්‍ය කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් වන මොහොමඩ් රසාක් තස්ලීම් යන අය බවයි සඳහන් වන්නේ.

තස්ලිම් ගෙන් ලද තොරතුරු මත මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරින්ට හැකිවූ අතර පසුව එම අපරාධය සිදුකළ පිරිස අත් අඩංගුවට ගැනිමටද හැකියාව ලැබුනා.

මෙම වෙඩි තැබිමෙන් බරපතළ තුවාල ලැබු මොහොමඩ් රසාක් තස්ලිම් මහ නුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂිම් ගෙන් විමසු අවස්ථාවේදි ඔහු කියා සිටියේ සිද්ධිය සැලවු විගස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට දුරකථනයෙන් අමතා සිදුවිම සම්බන්ධයෙන් සොයා බැලු බවයි.‍