කාන්තාවන් රාජ්‍ය සේවයේ ඉහළට පැමිණි ආකාරයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා අවස්ථාවන් හි ප‍්‍රධානත්වය දැරීමට සහ එම තීන්දු තීරණ වෙනුවෙන් බලපෑම් කිරීමට ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට හැකි විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසනවා.

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. ලෝක දේශපාලනයේ ශී‍්‍ර ලාංකේය නාමය සටහන්ව ඇත්තේ පළමු අගමැතිනිය බිහි කළ රට වශයෙනි. බී බී සී ලෝක සේවය නම් කළ ලෝකයට බලපෑම් කළ හැකි ස්තී‍්‍රන් අතරට ශී‍්‍ර ලාංකික සමුද්‍ර ජීවී විද්‍යාඥවරියක් එක්වෙමින් සහ ඉකුත් වසරේදී ලාංකික කාන්තාවක් එවරස්ට් කන්ද තරණය කරමින් කළ වික‍්‍රමය පිළිබදවද ජනාධිපතිවරයා මෙවර කාන්තා දිනයේදී සිහිපත් කළා.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දුන්නේ රට මුහුණ දුන් විවිධ සමාජ දේශපාලන අර්බුදවලදී නිර්භයව පෙරට ආ කාන්තාවන් දැක ගැනීමට හැකියාව ලැබුණු බවයි. සුහුරු කතක් – සොදුරු ලොවක් යන තේමාව ඔස්සේ රජය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරන බවද අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කාන්තාවට ලැබිය යුතු නිසි තැන දිනා ගැනීම සහ සමාජ ප‍්‍රගමණයට කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය දෙස බලන විට ශී‍්‍ර ලංකාවේ තත්ත්වය සතුටුදායක මෙන්ම ධනාත්මක බවයි. කාර්මික, කෘෂිකාර්මික සහ ගෘහස්ථ ක්‍ෂේත‍්‍රයන්හි කාන්තාවන්ට ගෙවනු ලබන වැටුප් පිරිමින්ට සාපේක්‍ෂව අඩු බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ පිළිබද වත්මන් ආණ්ඩුවේත් දේශපාලනඥයින් වශයෙන් අපගේ පමණක් නොව ප‍්‍රතිපත්ති සම්පාදන කාර්යයන්හි නියැලෙන විද්වතුන්ගේද අවධානය යොමුවිය යුතු බව විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව සිදු කෙරෙන ජාතික උත්සවය අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.