අල්ලස් ලබා ගනිමින් ගුරුමාරු සිදු කරන අධ්‍යාපන වෘත්තීය සමිතියක ප‍්‍රධාන තනතුරක් දරණ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙයසි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, එම අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

මෙම භික්ෂූන් වහන්සේ ජනප‍්‍රිය පාසල් ලබාදෙන බව පවසමින් ගුරුමාරු සිදු කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

දස අවුරුදු ගුරුමාරු වැඩසටහන යටතේ එහි විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන වෘත්තීය සමිති කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ගුරුමාරු මණ්ඩල සඳහා සෑම වෘත්තීය සමිතියක්ම නියෝජනය වන පරිදි නියෝජිතයෙකු බැගින් පත්කර තිබුණා. එලෙස පත් කළ භික්ෂූන් වහන්සේ නමකටයි මෙම චෝදනාව එල්ල වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ද අදහස් දැක්වූවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ තොරතුරු තිබේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ කර අදාළ පාර්ශ්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මේ අවස්ථාවේ වඩාත් සුදුසු බවයි.