වැඩ වර්ජනයකින් ඊයේ (30) ආරම්භ කළ වෘත්තීය සමිති අරගලය අකුරට වැඩ කරමින් අද (31) සිට අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති පවසනවා. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තීය සමිති අරගලය ආරම්භ කර තිබෙන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ පෙන්වා දුන්නේ මෙම වෘත්තීය සමිති අරගලය හේතුවෙන් රේගුවේ සේවා බිඳ වැටෙන බවයි.  ඒ නිසා රටට ආදායම් අහිමි වී වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ශ‍්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති අරගලයට තමන් ද සහය දක්වන බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. ඒ අනුව සිය නිලධාරීන් අද සංකේත වැඩවර්ජනයක ද නිරත වන බවයි එහි සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ.

මෙම වෘත්තීය සමිති අරගලය හේතුවෙන් සේවා බිඳවැටී මහජනතාවට පීඩා ඇති විය හැකි බවද ඒ පිළිබඳ කණගාටුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මහජනතාවට සිදුවන පීඩා අවම කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි තීරණාත්මක ආයතන කිහිපයක සිය වැඩවර්ජනය සිදු නොකිරීමට තීරණය කළ බවද ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියා සිටියා.

මේ අතර නෙත් නිවුස් මේ පිළිබඳ කළ විමසීමක දී මුදල් අමාත්‍යංශය පැවසුවේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට තවමත් නව පත් කිරීමක් සිදු කර නොමැති බවයි. එවැනි පත් කිරීමක් සඳහා යෝජනාවක් පමණක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.