ති‍්‍රකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ ඊයේ (29) ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලීසියද සිද්ධිය සම්බන්ධයෙන් තවත් පරීක්‍ෂණයක් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ.

නාවික හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් අතර ඊයේ මෙම නොසන්සුන්තාවය ඇතිවූයේ නීතිවිරෝධීව වැලි ගොඩදමමින් සිටි පිරිසක් වැටලීමට ගිය අවස්ථාවේදීයි. එහිදී නාවික හමුදා නිලධාරීන් දැක ගගට පැන පලායාමට උත්සාහ කළ දෙදෙනෙකු අතුරුදන් වුණා. ඒ, සමගයි අවට සිටි පිරිස් සහ වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වුණේ. පසුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් ප‍්‍රදේශයේ තත්ත්වය පාලනය කෙරුණා.

අතුරුදන් වූ එක් අයෙකුගේ මළසිරුරක් ඊයේ පස්වරුවේ සොයාගත් අතර ඔහු 22 හැවිරිදි කින්නියා ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසනවා. අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.