මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (11) දිනයේ අමෙරිකාව බලා පිටත්ව යනවා. එ්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිතව තිබියදී නතර කෙරුණු ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් එහි නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම සඳහායි.

ඊට මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද එක්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ‍්‍රී ලංකා නියෝජිතයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා සහ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්‍ෂවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඉකුත් සමයේ ශ‍්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන ව්‍යාකූලතාව සැලකිල්ලට ගනිමින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට එකගතාව පළ කර තිබූ මෙම ණය වාරිකය ගෙවීම නතර කරනු ලැබුවා.

මේ අතර අමෙරිකානු ඩොලර් කෝටි 400ක මුදලක් ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට ඉන්දීය මහ බැංකුව එකගතාව පළ කර තිබෙනවා. මෙරට විදෙස් සංචිත ප‍්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ‍්‍රී ලංකා මහ බැංකුව කළ ඉල්ලීමක් අනුව මෙම මුදල ලබාදීමටයි ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත්තේ.

කලාපීය සහයෝගීතාවය සඳහා වන දකුණු ආසියානු සහයෝගීතා සංවිධානයේ හුවමාරු පහසුකම යටතේ මෙම මුදල් ලැබීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

මීට අමතරව තවත් අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබා ගැනීම සඳහා ඉන්දීය මහ බැංකුව සමග ද්වී පාර්ශවීය හුවමාරු ගිවිසුමකට එළඹීමට අපේක්ෂිත බවද ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.