ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන ‘බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන බව’ට සඳහන් පර්ච්ජේදයේ කිසිදු වෙනසක් නොකිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඒකමතිකව තීරණය කර තිබේ.

ඊට අමතරව ‘ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්’ යන හැඳන්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් තීරණය කර ඇත.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන් අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසු මෙම තීරණ ගෙන තිබේ.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මුලින්ම සාකච්ඡා ඇරඹීමට රජය අදහස් කරයි.