ගංවතුරෙන් විපතට පත් ජනතාවට උපකාර කළ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔහු පවසන්නේ උතුරේ වැසියන්ට ආරක්‍ෂක අංශ උදව් උපකාර කර ඇත්තේ යුද අපරාධ චෝදනාවලින් නිදහස්වීමට බවයි.

සී. වී. විග්නේෂ්වරන්ගේ නව දේශපාලන පක්‍ෂය වන දෙමළ ජනතා සන්ධානය විසින් පිහිටවූ ජනතා සහන සංවිධානය කිලිනොච්චියේදී පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක අංශ සිදුකළ මෙම කි‍්‍රයාවට ජාත්‍යන්තර ප‍්‍රජාව මෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමද නොරැවටෙනු ඇති බවයි.

තවදුරටත් උතුරේ රැදි සිටීමේ අරමුණින් ආරක්‍ෂක අංශ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කර ඇති බවටයි ඔහු පවසන්නේ. සුනාමි ව්‍යසනයේදී උතුරේ ජනතාව බේරා ගනු ලැබුවේ ආරක්‍ෂක අංශ නොව සිය ජනතාව බවත් එහිදී රජයට වඩා උතුරේ වැසියන්ට උදව් උපකාර කළේ විදෙස් රටවල සිටින දෙමළ සංවිධාන බවද සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා ආරක්‍ෂක අංශ ආපදා අවස්ථාවේදී උතුරේ වැසියන් වෙනුවෙන් සිදුකළ මෙහෙය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව ප‍්‍රසංශාව පළ කරද්දී උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා මෙවන් ප‍්‍රකාශයක් සිදුකිරීම පිළිබදවද බොහෝ දෙනාගේ අප‍්‍රසාදයද පළව තිබෙනවා.

යුද හමුදාව සිදුකළ මෙහෙය පිළිබදව උතුරේ ඇතැම් ප‍්‍රදේශවල ප‍්‍රසංශාත්මක පෝස්ටර්ද අලවා තිබුණා. එහි වැඩිදුරටත් දැක්වුණේ තවදුරටත් උතුරු පළාතට යුද හමුදාවේ සහාය අවශ්‍ය බවයි.

මේ අතර උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යුද හමුදාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප‍්‍රකාශයට හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක දැඩි අප‍්‍රසාදය පළ කරනවා. මෙවැනි ජාතිවාදී ප‍්‍රකාශ සිදුකරන පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව කටයුතු කළයුතු බවයි හිටපු යුද හමුදාපතිවර මාධ්‍ය වෙත සදහන් කර තිබෙන්නේ.