හමුදාවන්ගේ සහ පොලීසියේ සහය තවදුරටත් අවශ්‍ය බව පවසමින් කිලිනොච්චිය සහ මුලතිව් ප‍්‍රදේශවල පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ඉකුත් දා ඇතිවූ ආපදාවලදි තමන්ට සහය වූයේද, දෙමළ දේශපාලනඥයින් නොව හමුදාව සහ පොලීසිය බවයි ඒවායේ දැක්වෙන්නේ.

ඒ නිසා වන්නියේ දෙමළ වැසියන් හමුදාවට සහ පොලීසියට ගරු කරන බව ද එම පෝස්ටර්වල සඳහන්ව තිබෙනවා. ‘‘යුද හමුදාව උතුරෙන් පිටව යායුතු නොවේ’’ යනුවෙන් ද ඇතැම් පෝස්ටර් සහ බැනර්වල සඳහන්ව ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

විපතට පත්වූවන්ට ලබා දුන් ආහාර පාර්සල්වල කඩදාසි හෝ ආධාර අසුරා තිබූ කාඞ්බෝඞ් පෙට්ටි ඉරා ලබා ගත් කාඞ්බෝඞ් තීරුවල මෙම බොහෝ පෝස්ටර් ලියා තිබෙනවා. රෙදි මත ලියන ලද බැනර් ද දැකගත හැකිවූ බවයි වාර්තාකරුවන් පැවසුවේ. සංවර්ධන කටයුතු විස්තර කරමින් සවි කර ඇති පුවරුවල ද මෙවැනි පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කර තිබෙනවා.

මේ අතර හමුදාව උතුරෙන් ඉවත් කළ යුතු නැතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන චාල්ස් නිර්මලනාදන් පවසනවා. තමන් ඉල්ලා සිටින්නේ හමුදාව රැඳි සිටින සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් නිදහස් කරදෙන ලෙස පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. රජයේ ඉඩම්වල හෝ සාමාන්‍ය වැසියන්ට අයත් නොවන වෙනත් ඉඩම්වල හමුදා කඳවුරු පවත්වාගෙන යාමට තමන් විරුද්ධ නොවන බවද ඔහු අවධාරණය කළා.

උතුරේ ඉකුත් දිනවල ඇතිවූ ආපදාවලදී පීඩාවට පත්වූවන් බේරා ගනිමින් සහ සහන සේවා සිදු කරමින් පෙරමුණ ගෙන කටයුතු කළේ හමුදාවයි.

දේශපාලනඥයින් හෝ නිලධාරීන් සහයට පැමිණියේ ප‍්‍රමාද වී බවයි පීඩාවට පත්වූවන් ද කියා සිටියේ. එසේ තිබියදී හමුදාව උතුරෙන් ඉවත්කළ යුතු යැයි තවදුරටත් ප‍්‍රකාශ කරන්නේ දැයි මාධ්‍ය කළ විමසීමකදී චාල්ස් නිර්මලනාදන් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කර තිබේනවා.