ගංවතුරෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ පිහිටට මේ අවස්තාවේ සිටින්නේ යුද හමුදාව පමණක් බවත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ ඩයස්පෝරාවේ මේ අවස්තාවේ එම ජනතාවට පිහිට නොවන්නේ මන්දැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රශ්න කරනවා.

පසුගිය යුද සමයේ මියගිය අය පිළිබඳව නිතර කතාබහ නොකර උතුරු නැගෙනහිර ගංවතුරෙන් පීඩා විඳින අහිංසක ජනතාව ජීවත් කරවීමට ආධාර කරන්නැයි දෙමළ ඩයස්පෝරාවට තමා කියා සිටින බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටිනවා.

උතුරු සහ නැගෙනහිර ජනතාව පිළිබඳව ඩයස්‌පෝරාවට අනුකම්පාවක්‌ ඇත්නම් ඔවුන් ගැන සොයා බලා මේ මොහොතේ ඔවුන්ට උපකාර කළ යුතුව තිබෙන නමුත් අදත් හෙටත් කවදත් එම ජනතාවගේ දුක සැප බලන්නේ යුද්ධ හමුදාව බව කී හමුදාපතිවරයා අද උතුරේ සෑම ලේ බැංකුවකම පවතින්නේ රණවිරුවන් පරිත්‍යාග කළ ලේ වර්ග යෑයිද පවසනවා.

දෙමළ ඩයස්‌පෝරාව මියගිය පුද්ගලයන් වෙනුවෙන්ම කතා කරන නමුත් උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා නොකිරීම ගැන කනගාටුවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා කීය.