පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු සභාවාරය මෙය වන අතර, පාර්ලිමේන්තුවේදී අද දිනයේදී සිදුකරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පක්ෂ නායක හමුවේදී තීරණය කිරීමට නියමිතය.

අද (18දා) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර,එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩුපක්ෂයේ අසුන්ගැනීමට නියමිතය.

එමෙන්ම අද දින පාර්ලිමේන්තු සභාවාරයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහභාගි වීමටද නියමිත අතර, ඔවුන් විපක්ෂයේ අසුන්ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද විපක්ෂයේ අසුන්ගන්නා අතර, මෙතෙක් ආසන සකස්කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැත.